Saturday, April 15, 2017

කුණු කතන්දර





මේක  ටිකක්  පරණ කතාවක්. මේ අපි මොරටුව හරියට පදිංචියට ආපු මුල කාලේ. පළාත එක්ක  සම්බන්ධකම්  තිබ්බට  මට පළාත අලුත්. ඉඩමක් හොයමින් උන්නේ ගෙයක් හදන්න, මොරටුවේ අහලකින් ගන්න බැහැ හෙණ ගණන්.

ඔය අස්සේ මම පත්තරේ දැක්ක ඉඩමක් අම්බානට ගාන අඩුයි. සාමාන්‍ය පර්ච් අගයෙන් බාගෙටත් අඩුයි. ඇත්තෙන්ම මේකමත් හේතුවක් කාරණා දන්නා මනුස්සයෙකුට ඒක නොගන්න. ඒත් ඔහොම මුල කාලේ අපි වගේ පිටින් ආපු ලොස් ඩයල් මෙන්ස්ට්‍රීම් එකට එන්ටර් වී ගන්න බැරි නිසා ෂෝට් කට් හොයනවනේ. ගත්ත කෝල් එකක්.

ලොකේෂන් එක කටුබැද්ද කැම්පස් එකට තරමක් කලින් අර පහුකාලෙක බෝම්බෙ තිබ්බ හරියෙන් ඇතුලට යන පාරක. මම කෝල් කලාම පොර මට ඉන්සිස්ට් කරලා කිව්වා උගේ ඉඩම තියෙන්නේ අහවල් තැන එතන මට ගැටලුවක් නැද්ද කියල. ඉතින් ගැටලුවක් තියෙන්න තැනක් දන්නේ නැහැනේ. මං කිව්වේ අවුලක් නැහැ කියල.

ඊට පස්සේ ඉතින් මම ගියා බලන්න. පයින් ම කොටමින් ගියේ. ගෙවල් ඉඩම් බලන්න පයින් ඕනේ යන්න. දුරවල් මීටර් වෙන්නේ එතකොට. හැබැයි මම ගියේ ඒ නිසා නෙවි වාහනයක් තිබ්බෙ නැති නිසා.

දැන් 255 පාරෙන් බැහැලා තරමක් දුර ගියා . හොඳ හොඳ ගෙවල් පහු කරගෙන හදාගෙන එන ගවලුත් පහු කරගෙන කට්ටි කඩන ඉඩම් වල ගණනුත් බලාගෙන යනවා යනවා ඉවරයක් නැහැ, මේ පොර මට කිව්වේ අහවල් කඩේ ලඟට ඇවිත් කෝල් කරන්න කියල. හරියට ඇඩ්රස් එකක් දුන්නේ නැහැ. ගිහින් ගිහින්  කඩේ ලඟදි කෝල් කළා. ඒ පාර කිව්වා පොඩි අතුපාරකට හැරෙන්න කියල. දැන් මේකේ යද්දී වෙලකට සෙට් වෙනවා. මම ආයිත් කෝල් කළා. ඒ පාර කිව්වා වෙල දිගේම එන්න වෙල ඉවර වෙද්දී කෝල් කරන්න කියල.


වෙල දිගේ ගිහින් නතර වුණේ අමුතුම තැනක. නෝමල් පොළොවක් වෙනුවට තිබ්බේ ගාබේජ් බෑග් පෙට්ටි ආදියේ කලෙක්ෂන් එකක්. සිම්ප්ලි කුණු ගොඩක්. දැන් ෆුල් අන්දොස්. මම ඒත් ටිකක් ඉස්සරහට ගියා. ඉස්සරහට යද්දී කුණු ගොඩේ ගතිය ගිහින් නිකම් තැනිතලා බිමකට ආවා, පාරක් හැදිලා තිබ්බ වීල් එකක් යාහැකි. කානුත් තිබ්බ දෙපැත්තේ. හැබැයි හොඳට බැලුවොත් පොලොව හැදිලා තියෙන්නේ පස් වෙච්ච කුණු වලින්. මීටර් පන්සීයක් විතර පළල කෑල්ලක් ඒකෙ තැන් වල ගහක් විතර උස කුණු කඳුගැට. ඒ කඳු අතර බිමේ මිනිස්සු ගෙවල් හදාගෙන හිටියා. ගෙවල් කිව්වට පැල්පත්. ඒ ඒරියා එකේ උන්නු මිනිස්සු සාමාන්‍ය ඇහැට දකින අයට වඩා පෙනුමෙන් වෙනස්.

මේක තනිකරම ගමක්. වෙළෙන් සෙසු ලෝකයෙන් වෙන් වෙච්ච ගමක්. ගම නිර්මාණය වන්නේ සහ සමහරු යැපෙන්නේ කුණු ඩම්ප් කළ නිසා. මොරටුවේ ඉන්න කී දෙනෙක් ඔතනට ගිහින් ඇද්ද මන්දා. මගේ මිනිත්තු කීපයක අධ්‍යනය නම් කුණු මත ගොඩ නැගුනු සමාජ උප සංස්කෘතියක් මිනිස් ජනාවාස පද්ධතියක් ලෝකේ තියෙන බව. මං කියන්නේ අපිට ඔව්ව විකියෙන් කියවල සයිට් වලින් උස්සල දෙන්න පුළුවන්, හැබැයි ඒ වගේ නෙවි ඒ මහ පොළොවේ උනුත් එක්ක හිටන් ඉන්න කොට එන අදහස. හිතන්න එපා ඒ ඔක්කොම හද්ද නොදියුණු දුප්පත් කියල. ස්මාට් ෆෝන් එකෙන් නෙට් එන ඩයල් ඕකෙත් ඇති. හැබැයි එතන මුළු ජීවිතේම තනි වෙනස් උප සංස්කෘතියක්.

අපි එපා කියල ඩම්ප් කරන එව්වා තව කාට හරි ඉන්න ඕනේ වීම ම අමුතුයි නේද?

කොහොම උනත් මට එදා තේරිච්ච දේනම් කුණු සම්බන්ධයෙන් ඒ සී කාමර වල සුදු කරපටි සංවාද සහ ඇකඩමික හෝ වෘත්තීය වේදිකාවේ කෙරෙන කතාබහ හද්ද නිෂ්පල එකක් කියල. සිම්ප්ලි මේ කුණු කඳු සහ ඒ කඳුවල පත නිම්න අසබඩ වෙසෙන ජනයා කියන එකිනෙකින් වෙන්කළ නොහැකි තනි ටොපික් එක ඇඩ්රස් වෙලා නැහැ හතර මායිමකින්. මොරටුව ඔහොම නම් බ්ලුමැන්ඩල්  එතකොට  වැල්ලම්පිටිය/මීතොටමුල්ල කොහොම ඇද්ද? ඔය  උඩ  පින්තුරේ  තියෙන්නේ  මීතොටමුල්ල.  දැනගත්තේ මෙතනින්

සිංහල අවුරුද්ද දවසේ මීතොටමුල්ලේ ගොඩ ගැසෙන කොළඹ නගරයේ දෙවැනි කුණු කන්ද පුපුරා යාමෙන් නිවාස සීයක් දෙසීයක් විතර එක්ක ජීවිත නොදන්නා විශාල ගණනක් විනාශ වෙලා තියෙනවා.

ලෝක දෙකක් යා වෙලා, මම මේ රටට ආවම රස්සාවට සෙට් වුණේ ෆ්ලීට් මැනේජ්මන්ට් සොෆ්ට්වෙයා එකක් කරන්න, එකත් කුණු එකතු කරන තඩි සමාගමක. දැන් මේ රට පත සයිස් හිස් බිමක්. ඕනෙමනම් මීතොටමුල්ල වගේ සිය දහස් ගුණයක කඳු ගහන්න පුළුවන් මෙලෝ බක්කෙකුට හොයාගන්න බැරි තැන්වල. ඉන්දියාව වගේ දෙගුණයක රටක ඉන්නේ ලංකාවේ ජනගහනය. 95% විතර ඉන්නේ නගර කීපෙක. සෙස්ස හිස්. හැබැයි අර කොම්පැනිය එකතු කරන කුණු වලට කරන්නේ මොකද්ද දන්නවද? උන් ඒ කුණු පොඩි සයිස් කන්ටේනර් බොක්ස් බලට දාලා ඒක කම්ප්‍රෙස් කරලා සීල් තියනවා. ඊට පස්සේ සමාගමට අයිති උන් නඩත්තු කරන වෙන කිසිවෙකු පාවිච්චි නොකරන රේල් පාරක කිමි සිය  ගානක් එව්වා ගෙනිහින් අතහැර දැමු ගැඹුරු පතලක ඒ කුණු අඩුක්කු කරනවා. වසර තිස් හතලිස් ගානකින් ඕක පුරවනවලු.

මිනිස්සු දාන නගරසබා කුණු එකතු කරන්නේ සබාවෙ බදු සල්ලි වලින්නේ. ඉතින් ඒ සල්ලි වලින් කොහොමද මේ රේල්පාර හදාගෙන නඩත්තු කරන්නේ? අනික ඔහොම මධ්‍යගත නොවන සබාවල් වලින් මේ වගේ වියදම් සමාගමකට අවුට් සෝස් කරනෙන් කොහොමද? එහෙම නැතිනම් ඒ නගර සබා ඔක්කොම එකම වැඩපිළිවෙලකට ගන්නේ කොහොමද? ඕක මෙතැනදී අහන සුපුරුදු ප්‍රශ්නේ. ඕස්ට්‍රේලියාවේ අයට සල්ලි තියෙනවනේ. ඉතින් කරන්න බැරිද? නෑ මේක කරන්නේ පිටින් සල්ලි දාල නෙවි. මෙන්න මෙහෙමයි කරන්නේ.

සමාගම නගරසබාවල කුණු එකතු කරන්නේ නැහැ [පර්ත් වල කොහේ හරි එකක් කරනවා මගේ හිතේ ඒ විතරමයි] හැබැයි නගරසබා කෝපරේට් කුණු හෙවත් වාණිජ ආයතන වල කුණු එකතු කරන්නේ නැහැ. ඒ සියලු වාණිජ ආයතන කාට හෝ මුදල් ගෙවා කරවා ගන්න ඕනේ. මේ සමාගම තරම්ම ලොකු නැතත් එහෙම එකතු කරන සමාගම් අඩුම ගානේ පහක් හයක් මෙහෙ තියෙනවා. තමන්ගේ වාණිජ ආයතන වලින් සමාගම අය කරන මුදල පමණක් ප්‍රමාණවත් රේල් පාර නඩත්තු කරන්න. ඒ වගේම පතල පුරවන්න සමාගම පතල හාරපු උන්ට බිලක් ගහනවා. ඒ ඔක්කොම එකතු වුනාම තනි සිස්ටම් එකක් ලෙස වැඩ.

එතකොට නගරසබාවෙන් එකතු කරන මිනිස්සුන්ගේ කුණු? අන්න එව්ව බල්ක් සර්විස් ෆී එකකට සමාගම ගන්නවා. අරගෙන එව්වත් යවනවා අනිත් එව්වා එක්ක. එතැනදී නගරසබා ගෙවන ගාන පොඩියි මොකද පවතින සිස්ටම් එකේ තමා පිගි බැක් කරන්නේ උන්ගේ කුණු. මේක තමා ලංකාවේ ප්‍රවාහනයට තියෙන ප්‍රශ්නෙට අපේ සයිබර් මිතුරන් වතාවක් දුන්නු උත්තරේ. ලාබ ලබන කොටස හදලා [ප්‍රවාහනය අවට වෙළඳසල් ආදිය] උන්ටම දෙනවා පාඩු ලබන එකත් නඩත්තු කරන්න.

ධනවාදය සමාජවාදය අර වාදය මේ වාදය පානදුරා වාදයත් ඕක අස්සේ ඇති. හැබයි සිස්ටම් එක වැඩ. ලංකාවේ නම් අබාන්ස් එකත් උගේ කුණු එකතු ඩම්ප් කරන්නේ නගරසබාවේ කුණු කන්දටම නේද?

ඔන්න ඔහොමයි ප්‍රොබ්ලම් එක ඇඩ්රස් කරන්නේ. ඒ කුණු උප සංස්කෘති නැතුව. නිකම් කුණු හැසිරවීම පමණක්,

ලංකාවේ කුණු ප්‍රශ්නය හිතන තරම් පුංචි එකක් නෙවි. මගේ පුංචි අවබෝධය අනුව නම් ඒක රනින් රෙපයාර් කරමින් තුවාලෙත් එක්ක ජීවත් වෙන්න ඕනේ ප්‍රශ්නයක් මිසක මැජික් යෂ්ටි විසඳුම් දෙන්න පුළුවන් එකක් නෙවි.

මීතොටමුල්ලෙ පුපුරන්නේ  ඒ රනින් රෙපෙයා නොකිරීමේ ගැටලුව නිසා කියලයි මට හිතෙන්නේ.

ආ අර කටුබැද්දේ ඉඩම. හොරා වගේ මම ආපහු ආවා. පොර විනාඩි දහයකින් විතර කෝල් කරලා ඇහුව හොයාගන්න බැරිඋනාද කියල. මම කිව්වා දුර වැඩියි මම ආපහු යනවා කියල. ආ ඕකේ කියල තිබ්බ ෆෝන් එක පොරට පුරුදුයි වගේ ඕක වෙලාම. ඒක එච්චරයි.