Monday, June 20, 2011

පිස්සු කතාවක් නොවේ

"කන්ද පටන් ගන්න තැනට එනකොට මට පෙනුනේ මේක නගින්න නම් බැහැ කියලයි. ලංකා සිතියමකින් කියනවා නම් මෙතන හරියටම නුවර හා නුවර එලිය අතර තැනක්. අපි දින දෙක තුනක දුම්රිය ගමනකින් පස්සේ මෙතනට ආවේ. මග දිගටම සොඳුරු සිරිය. ඒ ඔක්කොම පරාදයි කන්ද දැක්කම. ඇරිසෝනාවේ පින්තුරවල දැකලා තියෙන මොනොලිත් කිහිපයක් එක එක උඩ තිබ්බ වගේ.  කිහිපයක් කිව්වද කොච්චරක් ද දන්නේ නැහැ. කෙළවරක් පෙන්නේ නැහැ උඩ වළාකුල් වලින් ඔබ්බට නොපෙනී යනවා. මේ මොනොලිත් වල බඳ දිගේ විටක එළියෙන් හා වරෙක ඇතුලින් කැපු පඩි දිගේ තමයි ඉහලට යන්නේ. සමහර තැන්වල කළුගල හාරා තැනූ ගිමන් හල්.

බයෙන් බයෙන් අපි වලාකුළු පසාරු කරගෙන ඇදුනා. හිත කිරි ගැහෙන සොඳුරු බියකරු හැඟුම් අතරේ පාවෙන්න ගත්තා. ඉවරයක්‌ නැති කන්දක්. මනසේ ගැඹුරුම තැන් දක්වා විහිදුනු කිති කැවීමක්. කියන්න වචන නැහැ කියන්නේ ඇත්තටම නැති නිසා.

අන්තිමේදී මේ මහා උස කන්දේ උඩ මුදුනක් නොවේ තිබ්බේ. මහා ගල් තලාවක යටටයි අපි ආවේ. කන්ද කණුවක් වගේ ඇවිත් ගල් තලාවට සෙට් වෙනවා. ගල් තලාව මේ කණුව උඩම රැඳිලා තියේද නැත්නම් සයිඩ් එකෙන් සපෝර්ට් වෙනවද කියලා පේන්නැති තරම් මිදුම. ඒ සිතල මතක් වෙන කොට දැනුත් ඇඟ කිලිපොලා යනවා.  ගල්  තලාව විදගෙන උඩට ඇදෙන සිරස් උමගක් තුලින් පඩි පේලියක්. අපි නැගගෙන ගියා.

අපි කිව්වට කියන්න අමතක උනා. ඉස්කෝලේ සෙට් එකේ කිහිප දෙනෙක්, කැම්පස් ගජයෙක් හා ඔෆිස් එකේ බුවාලා කිහිපයක්.
 

උමග කෙළවර උනේ ගල්තලාව මත තියෙන පුංචි ටවුමක. අපි නිකම් අර "යට බිම් හරස් මග" කියන පාරේ තියෙන [බොරැල්ලේ තියෙන්නේ] පඩි පේලි වගේ තැනකින් බස් හෝල්ට් එකකට තමයි මතු උනේ. ඇත්තටම මේ අර ගල් තලාවද කියලා නිච්චියක් නැහැ. හාත්පස සිසාරා කෙළවරක් නැති කඳු ගැට. සමහර විට උඩට යන්න යන්න අර ගල් තලාව  මහා ලොකු තැනක් වෙන්න ඇති කෙළවර නොපෙනෙන. 

දියතලාව කියලා බෝඩ් ගහපු බස් එකක් සිතල හුළං අවුස්සගෙන අප පහු කරන් ගියා.
 

අපි එතනින් තේ බිලා පාරේ බස් එකකට නැග්ගේ ආපහු කොළඹ එන්න."
------------------
"මං වාඩිවෙලා හිටියේ ඇන්ඩීස් මුදුනක. කෙලින්ම පල්ලෙහාට ගහක් කොලක් නැති වැලි තලාව. ඈතින් කිලෝමීටර ගණනක පහලින් පුංචි නිල් පටියක් වගේ මහා මුහුද. මෙච්චර උඩට වැලි කොහෙන්ද?
 

අපි විතරක් නොවෙයි මෙන්න හෙන සෙට් එකක් ඇවිත්. ඔක්කොම ඉස්සරහට නොයා දුර තියෙන මුහුද දිහා බලන් ඉන්නවා. මගේ සංචාරක හිතට ඉන්න බැහැ මෙහෙම. මං ගියා ඉස්සරහට. කට්ටිය කිව්වා එපා එපා කියලා. මුන්ට පිස්සු. මුහුද හත් ගව්වක් තියන් ස්විමිං සූට් එකට බැහැලද කොහෙද.
 

එක පාරටම ඈත තියෙන නිල් පටිය මහත් වෙන්න ගත්ත. ටිකකින් මහා හඬකුත් එන්න ගත්ත. මට හිතා ගන්න බැරුව තක්බීර් වෙලා ඉන්න අතරේ පැසිෆික් සාගරෙන් එන මහා ජල කඳ වැලි තලාව කලම්බා ගෙන කිලෝ මීටර ගානක් උස ඇන්ඩීස් බෑවුම දිගේ ඇවිත් මාවත් නාව ගෙන රැල්ල බිඳිලා ආපහු ගියා. පුරුවේ වාසනාවට එදා බේරුනේ.
 

සුනාමි කියන වචනේ මට එදා මතක් උනේ නැහැ. ඇත්තටම මේක සුනාමියකුත් නොවේ. මේ ඒ පැත්තේ රැල්ල ගහන හැටිලු."
-------------------
"ඔය කෑගල්ල මතුගම හොරණ කළුතර නගර අතර මැද්දේ තියෙන මහා කැලෑවකට මා නිතර යනවා. කළුතර පැත්තෙන් පටන් ගත්තොත් දවස් ගානක් නගින්න පුළුවන් කන්දක් තියෙන්නේ. මේකේ විවිධ ඇඩ්වෙන්චර් කරලා තියෙනෙවා. මෙතන තියෙනවා කඳු මුදුනක් සිරිපාදේ වගේ කිහිප ගුණයක් උස. එතෙන්ට මුළු ලංකාවම පේනවලු. ඒත් අත පය වෙවුලා සිහි මුර්ජා නොවී ඕක බලන්න බැරිලු.
 

කීප දොහක් මෙහෙ ගියත් මට බැරි උනා මෙතෙන්ට නගින්න. එක දවසක් හිත හයිය අරන් මං ගියා. මං එදා දැකපු දේ කියන්න මට වචන නැහැ. විනාඩියක පමණ අනන්ත ආශ්වාදයකින් පස්සේ මාව වැටෙනවා වගේ මතකයි. සිහිය අසිහිය අතරේ මගේ සගයා මාව වත්තම් කර ගන්න හැටි දැක්ක."
-------------------
"මං වැඩ කලේ පාසලක පාට් ටයිම් මාර්ගෝපදේෂකයෙකු හැටියට. අපි ගියේ ඇන්ටික් මාලිගාවක් බලන්න.  ළමයි ටිකත් එක්ක ඇතුලට ගිහින් අපි මුලින්ම ගිය බේස්මන්ට් එහෙමත් නැත්නම් පොලොව යට තට්ටුව බලන්න.
 

පඩි බහින තැනම තිබ්බ ඔරලෝසුවක්. මොකද්දෝ කටු සුත්තරයකින් වෙලාව හා දිනය ඔක්කොම සටහන් වෙන. මාලිගාවේ උපදේශක කෙළී මේ ඔරලෝසුව ගැන කිව්වා. වෙලාව දුවන්නේ නැහැලු ඔන්න ඔය තියෙන විදිහටම නැවතිලාලු.
 

මං හොඳට බැලුවා.  අඩේ අද දවසනේ තියෙන්නේ. ඒක සෙට් උනේ කොහොමද? මට මගේ ඔරලෝසුව බැලුනා. මගේ ඔරලෝසුවේ තප්පර කට්ට හෙමි හෙමින් ඇන්ටික් ඔරලෝසුවේ සෙට් වෙච්ච තැනට එනවා. මිනිත්තු කට්ට දැනටම සෙට්. පැය කට්ටත් සෙට්. මේ ඇන්ටික් ඔරලෝසුවේ නතර වෙච්ච දිනය හා වෙලාව තමයි මේ එළඹෙන්නේ. මොකක්??
 

ඒ කියන්නේ?? මේක ටයිමර් එකක් ද? අහවල් දෙයකට හදපු ටයිමර් එකක්ද?
 

තප්පර කට්ට සෙට් උනා. දඩාස් ගාල දොරවල් ටික වැහිලා ගියෙත් විදුලි බලය ඇන හිට තිත්ත පල් කලුවරකින් අප වසා ගත්තෙත් එකම වෙලාවේ..."
-------------------
"කැම්පස් එකේ පේමන්ට් එකක් රෙපෙයාර් කරන බුවාලා ඇවිත් දැන් ටික දවසක්. මං පොරවල් එක්ක ෆිට් උනේ නිකම් කුතුහලයට. යාලු කමට තමයි එකෙක් අර පොලොව තලන ගිඩි ගිඩි මැෂිම දුන්නේ. මං ඒක අරගෙන පේමන්ට් එකේ පස් තට්ටුව තලාගෙන ගියා. මේවා මාර ආතල් වැඩ.
 

වයර් කොනක් බිම වැටිලා තියෙනවා දුටුවේ මට කරන්ට් වැදෙන්න තප්පරෙකට කලින්. මාව විසි වුනා. නිකම් නොවෙයි අහසට. විසි වෙලා මං පාවෙන්න ගත්ත. මං වගේම පොරක් බිම වැටිලා හිටියා. මගේ අලුත් යාළුවන් වූ පේමන්ට් හදන සෙට් ඒක ඌව වටකරගෙන.
 

පවන් රොදක පිහාටුවක සැහැල්ලුව මට දැනුනා. ඔන්න ඔහේ ඕන "එකක්" ප්‍රීති වෙසක් කියන පරම සන්තුට්ටියෙන් හිත කියන තඩි පෙනහල්ලේ කවදාවත් නොපිරුණු ප්‍රත්‍යන්ත ගර්ත පවා පිරි ගියා. යට ඉන්න එවුන් මා ගැන දුක් වෙන හැටි, මා මැරිලා කියලා අර මං වගේ අනික් බුවා ව රෙද්දකින් වහන හැටි මා දුටුවා. දුකක් හිතුනෙත් නැහැ. නිරාමිස ප්‍රීතියකින් පිරුණු හිතකට දුකක් දැනෙන්නේ කොහොමද?"
-------------------
 

මේ වගේ කතා තව තියෙනවා ගෝනි ගණන්...

ඔය මෙච්චර වෙලා කියෙව්වේ පිස්සු කතා නොවේ. මේක ලියන්න දිරි ලැබුන නලිනි ලියපු මා බාල කාලේ වගේ නොන්සේන්ස් ජෙන්රියේ කතාත් නොවේ.
 

මේ මා බොහෝ දිනවල රැයේ දකින සිහින.
 

මේ ගැන ලියන්න ගියොත් වෙනම බ්ලොගක් ලියන්න පුළුවන්. හැබැයි මං කවදාවත් මෙහෙම දෙයක් පබ්ලිෂ් කරන්න හිතුවේ නැහැ. මං හිතුවේ මේක පට්ට ප්‍රයිවෙට් මැටර් එකක් කියලා. ඒත් තව ජිවත් වෙන්න තියෙන කාලය බොහෝ විට හිටිය කාලය තරම් නොවන නිසාත්, මේ වගේ සංවාදයකට සුදුසු පිරිසක් හා වටා පිටාවක් තියෙන නිසාත් මේ "කාටවත් නොකියූ" කතාව කියන්න මට හිතුනා. සංවාදයට මිස නිර්මාණ කරණයට නොවේ මේක ලිව්වේ. ඒකයි මගේ කෙටිකථා බ්ලොග් එකේ නොදා මෙතන දැම්මේ.
 

මට තියෙන්නේ මාර ලෙඩක්. සාමාන්‍ය විදිහට පැය හය හතක් නිදා ගත්ත හැම රැයකම හීන තුන හතරක් පේනවා. අඩු ගානේ ඒ තරම මතක හිටිනවා. සියයට අනුවක් සංචාරක සිහින. හැබැයි මාර වෙරයටි එකක් තියෙන්නේ.
 

උදාහරණයක් හැටියට ඒ කාලේ මා වැඩිය ගණන් ගත්තේ නැති භාතිය සන්තුෂ් දෙන්න හදපු පට්ට ම සින්දුවක් ගියා හීනෙන් ට්‍රිප් එකක් යනකොට වාහනේ. වින්දනය උපරිමයි ඇහැරෙන කොට ඒක අමතක වෙලා. පොරවල් තවම නැහැ ඒ සින්දුව දැම්මේ.
 

මං එකම ලස්සන හීනෙ නැවත නැවත දැක තියෙනවා. ඒ වගේම ට්‍රයි කරලා බලලත් තියෙනවා. හීනෙන් චිත්‍රපටියක් [කතාව තිර රචනය අධ්‍යක්ෂණය ඔක්කොම මගේ හිත ඇතුලේ] බැලුවා. නවකතාවක වස්තු විෂය දුටුවා [ලිව්වේ නම් නැහැ]. පහත පද පේලිය ලිව්වේ පාඩම් කර කර ඉඳලා එතනම නින්ද ගිය දවසක පාන්දර තුන විතර වෙද්දී හීනෙන් තොල් මැතිරූ ගීයකින්. නැගිට්ට ගමන හුස්මට ලිව්වා. නැත්නම් ඒකත් මට නැතිවෙනවා.
    "ඉරගල කන්දෙන්  ඉරමල වැටිලා
    ගොම්මන් කළුවර මිදුලට ඇවිදින්
    රුක් ඇත්තන මල් සුවඳ ගෙනාවට
    නුඹේ සුවඳ මට ඊට වැඩියි..."


මට කියලා "බූල් බල්ලෙක්" නොහිටි මේ කාලේ ඔව්ව ඉතින් හීනෙන් හිතුනොත් තමයි. හිතට ආපු පෙම්බර සිතුවිල්ල මුළුමනින් ම ගීතයක් කළා. මෙන්න මං ඒක වෙන තැනක පල කළා සම්පුර්නයෙන් ම.


මට පිස්සුද? ඔහොම නෙවෙයි මට හිතුනේ. මට ලෙඩක් ද? අම්මා සාත්තර අහන වෙලාවක [මං ගැන ඔය සාත්තර අහන්න එපා කියලා කියන්න ගටක් නොතිබි පාසල් වයසේදී] ඔය කතාව ඇහුවම කිව්වා මට දේව වරමක් ලැබිල තියෙනවා කියලා සිහින දකින්න. මං ඉතින් පොඩ්ඩක් "විජ්ජා සම්පන්න" ව හිතුවම මට හිතුනේ මොලේ සිග්නල් ජෙනරටරේ ඕෆ් වෙන්නැති කමක් වගේ ආබාධයක් දෝ කියලා. මං සැක කළා බ්‍රේන් ටියුමර් කියන ඇඟ වෙවුලා යන රාක්ෂයා ව. කැම්පස් හෙල්ත් සෙන්ටරේ ඩොකා ගෙන් ඇහුවම පොර හිනා වෙලා කිව්වා එහෙම එකක් තියෙනවා නම් මිට වඩා හොඳ ක්‍රමයකට මට තේරෙයි කියලා. අහලා දශක එකහමාරක් ගියා, ඒත් එහෙම නොතේරුන නිසා අඩු ගානේ මූ හරී හිත හොඳ රාක්ෂයෙක් නේ කියලයි මං හිත හදා ගෙන ඉන්නේ.

හීන ගැන විවිධ මත තියේ. සමහරු කියන්නේ මට හීනෙන් සිද්ධ උන වැටෙන බියවන සිද්ධි වෙන්නේ අපේ ඇස්ට්‍රල් බොඩිය සිරුරෙන් එලියට ගිහින් ඇතුළු වෙන කොට ලු. මට ඉතින් ඔය වගේ කරුණු රහිත විශ්වාස ගැන විශ්වාසයක් නැහැනේ. එතකොට තව කියන්නේ නින්දේ ස්ටේජ් අතර මාරුවෙන කොට [වාහනේ ගියර් වගේ] ඔහොම වෙනවා කියලා.

අපි රෑට හීන බර ගානක් දකින නමුත් මතකයේ සැකැස්ම අනුව ලු එව්වා මතක හිටින්නේ. මගේ මතකය පින්තුර ගොඩක්. ඒක සමහර විට හරී ඇති. බාහිර සංවේදන ඉන්ද්‍රිය වල සම්බන්ධතාවයක් නැති නිසා හීනයක් බලන්න යන්නේ තප්පර කිහිපයයි කියන්නේ. හයි ස්පීඩ් ඩේටා ෆ්ලෝ එකක්. නෝ පෙරිෆරල් බොටල් නෙක්ස් ලු.

මෙව්වා ඇනලයිස් කරන්න ගියානම් හීන විශ්ලේෂකයෝ කොර වෙනවා. අනේ හැබැයි මගේ සත්‍ය ජිවිතයේ මේ සිහින වලට සම්බන්ධ මොකුත් වෙලා නැහැ. මේවා අහිංසක "සිහින" විතරයි. සැබෑ වෙන්න බැරි.

මොකා මොනවා කිව්වත් මේක මාර ෆන් වැඩක්. සිහින වල වින්දනය සැබෑව වගේ සිය දහස් ගුණයක්. මං හිතන්නේ මොලේ තියෙන සමහර නියුරෝන උද්දීපනය කරන්න ඇස කන නාසය වගේ පෙරිෆරල් වලින් බැහැ. හිතේම පහල වන මේ හීන හිත පතුලටම වදිනවද කොහෙද?

මං මේ හීන වලට මාර ආදරෙයි. සමහර විට මගේ ලොකුම විනෝදාංශය මේක වෙන්නැති. මේ වචන වලින් ඔබ දැක්කට මට දැනෙන හැඟීම් මිට වඩා හරී වෙනස්. ඒත් මට "කියන්න වචන නැහැ". හරී දුකයි ජිවිතේ බෙදා ගන්න මගේ හිත ලඟම ඉන්න අනික් හිත එක්කවත් මේක බෙදා ගන්න බැරි එක ගැන. 

මට නම් හිතෙන්නේ සාත්තර ඇන්ටි හරී. මේක නම් දේව වරමක් තමයි.